අලුත් ඉපදුනු කුඩා ළඳරුවෙක් වැඩිහිටියෙක් දක්වා වර්ධනය කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ළඳරු අවදියෙදි තමන්ගෙ අවශ්‍යතා, අපහසුතා වචන වලින් කියන්න බැරි නිසා හැඬීම සහ වෙනත් හැසිරීම් මගින් තමයි දරුවො ඒ දේවල් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ විශේෂ සංඥා මගින් දරුවන්ට අවශ්‍ය වෙන්නෙ මොනවද කියලා අනුමාන කරන්න දෙමව්පියන්ට පුලුවන් වෙන්න ඕනේ. විශේෂඥයන් විසින් මේ ගැන පරීක්ෂණ කරලා දරුවන්ගේ හැසිරීම් දෙමවුපියන්ට තේරුම් ගන්න පුලුවන් ප්‍රධාන ළඳරු හැසිරීම් 3ක් හඳුන්වලා දීලා තියෙනවා. අපි අද කියන්නේ ඒ ගැනයි..
හැඬීම.
හැඬීම කියන්නේ දරුවන්ගේ ජීවිතයේ මුල් මාස 4 ඇතුලත ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ක්‍රමයයි. නමුත් එම හැඬීම මගින් දරුවන්ට තියෙන්නේ කුසගින්නක්ද, වේදනාවක්ද නැත්නම් වෙනත් මොකක් හරි හේතුවක්ද කියලා දෙමවුපියො දැන ගන්නෙ කොහොමද?
- ඇමතීමේ හැඬීම: දරුවා දිගු වෙලාවක් තනිව සිට, දෙමවුපියන්ගේ පහස අවශ්‍ය වූ විට මෙසේ හඬනවා. මෙහිදී තත්පර 5-6ක් පමන අඛන්ඩව හැඬීම සිදුකර පසුව තත්පර 20ක් පමන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් දෙමවුපියන්ගේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත්නම් මෙම චක්‍රය නැවත නැවත කිහිප වරක්ම සිදු කරනවා.
- කුසගින්න නිසා හැඬීම: මුලින්ම දරුවා ඇමතීමේ හැඬීමකින් හැඬීම ආරම්භ කලද දෙමවුපියන් දරුවා අතට ගෙන කිරිදීම නොකලහොත් එම හැඬීම දිගටම පවතිනවා. ඉන් පසුව දරුවා හිස මදක් පසෙකට හරවාගෙන මුඛයෙන් තලුමැරීමේ වැනි ශබ්දයක් නිකුත් කරමින් හඬන්නට පටන් ගන්නවා. ඒ කුසගින්න වැඩි වීම හේතුවෙනුයි.
- වේදනාව නිසා හැඬීම: දරුවා ඒකාකාරීව, මහා ශබ්දයෙන් නොනවත්වා හැඬීම සිදු කරනවා නම් ඒ යම් කිසි ශාරීරික වේදනාවක් නිසා වෙන්න පුලුවන්. එසේ තම රෝගාතුර බාවය නොනවත්වා හැඬීම මගින් පෙන්වා දරුවා එකවරම නිහඬ වෙනවානම් කල්පනාකාරි වෙන්න. ඒ දරුවාට ශබ්ද නගා හැඬීමටවත් ශරීරයේ ශක්තිය ඉතිරි වී නැති නිසා වෙන්න පුලුවන්.
- භෞතික ක්‍රියාවලින් නිසා හැඬීම: බඩේ ගෑස් තත්වය, මුත්‍රා කිරීම සහ මලපහ කිරීම සම්බන්ධ අපහසුතා නිසාද දරුවා හඬනවා. එහිදී දරුවා ඉතා තියුණු සහ උස් හඬකින් තමයි හැඬීම සිදු කරන්නේ.
- නිදිමත නිසා හැඬීම: දරුවාට නිදිමත වුවද යම් හේතුවක් නිසා නිදා ගැනීමට අපහසු වූ විට සිත්වේදනාවට සමාන මොරගෑමකින් මුව පුළුල් කරගෙන හැඬීම සිදු කරනවා. ඒ වගෙම තම අතින් දරුවා ඇස් සහ කන් පොඩි කිරීමටද පටන් ගන්නවා.
- අපහසුතා නිසා හැඬීම: මෙය සුලු කෝපයක් සමග අත්පා සොලවමින් සිදු කරන අක්‍රමවත් හැඬිමක් වෙනවා. එහිදී දරුවා පෙරලීමට හෝ සෙලවීමට වැනි දෙයකට උත්සාහ කරන්න පුලුවන්. එවන් හැසිරීමක් පෙන්වනවා නම් වහාම දරුවාගේ ඩයිපරය පරික්ෂා කරන්න. ඒ වගෙම ඇඳුම් සීතල හෝ දැඩි උණුසුම් වීම නිසාද දරුවා මෙසේ හඬන්නට පුලුවන්.
- ඒ විතරක් නෙමෙයි පරිසරය වෙනස් වීම නිසා වගෙම වෙහෙසට පත්ව සිටින විටත් කුඩා දරුවන් හඬනවා.
ඔවුන් කරන ශබ්ද
ඕස්ට්‍රේලියානු ළමා රෝග විශේෂඥ Priscilla Dunstan විසින් වසර 20කට අධික කාලයක් පුරා වයස මාස 3-4 දක්වා දරුවන්ගේ ශබ්ද අධ්‍යනය කර තිබෙනවා. විවිධ ජාතීන්වලට අයිති දරුවන් දහස් ගණනක් ඇගේ අත්හදා බැලීම් වලට සහභාගි වී තිබෙනවා. එහිදී ඇගේ නිගමනය වන්නේ එම වයස් කාලය අතරතුර දරුවන් නගන ශබ්ද සියලුම ජාතීන්වල දරුවන්ට පොදු වෙන බවයි. නමුත් මාස 4 ක් ගත වීමෙන් පසුව දරුවා තම ශාරීක අවශ්‍යතා වලට වඩාත් ගැලපෙන ශබ්දය නගමින් සන්නිවේදන කටයුතු සිදු කරනවා.
ප්‍රිසිලා විසින් ළදරුවන්ගේ ශබ්ද දෙමවුපියන්ට හදුනා ගැනීමට උගන්වන පාසලක්ද විවෘත කර තිබෙනවා.
ඇයට අනුව දරුවන්ගේ ප්‍රධාන ශබ්ද කෝශයට ඇතුලත් වෙන්නේ මෙවැනි ශබ්දයි.
“Neh” – “මට බඩගිනියි”: දරුවා තම දිව උඩු තල්ල දෙසට තල්ලු කිරීම මගින් මෙම ශබ්දය නිපද වන අතර මුඛයද කිරි උරාබොන ආකාරයෙන් හැසිරවීමට පටන් ගන්නවා.
“Eh” – “මට ගුඩුස් එකක් යවන්න ඕනේ”: කිරි බීමෙන් පසුව උදරයේ ඇතිවෙන අතිරේක වායුව පිටකිරීමට අවශ්‍ය වන විට දරුවා මෙම ශබ්දය නගමින් කටින් එය පිටකිරීමට උත්සාහ කරනවා.
“Owh” – “මට නිදිමතයි හෝ මහන්සියි”: දරුවා තම මහන්සිය තොල් පිට පෙරලමින් ඈනුම් යවමින් මෙසේ ප්‍රකාශ කරනවා.
“Heh” – “මට අපහසුතාවයක් දැනෙනවා”: අප්‍රසන්න අපහසුදායක හැඟීමක් ඇති කරවමින් දරුවා සෙලවීමට සහ අත් පා වැනීමට පටන් ගන්නවා. විශේෂයෙන් දරුවාගේ මුව මදක් විවෘතව ඇති විට මෙම සියලු චලනයන් “Heh” ශබ්දය නිපද වීමට දායක වෙනවා.
“Eairh” – “මගේ බඩේ වාතය පිරිලා මගේ බඩ රිදෙනවා”: දරුවා තමාගේ උදරයේ වේදනාව නැතිකර දැමීමට උත්සාහ කරමින් වෙහෙසෙන විට මෙසේ ශබ්දය විකෘති වී ඇසෙනවා.
දරුවන්ගේ චලනයන්
ශරීර භාෂාව මගින්ද දරුවන් ගැන බොහෝ දේවල් කියන්න පුලුවන්.
පිටුපස ප්‍රදේශය එසවීමට උත්සාහ කිරීම: මාස 2කට වඩා අඩු දරුවන් උදරයේ වේදනා හෝ වෙනත් වේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී මෙසේ හැසිරෙනවා. ඒවගෙම ආහාර ගැනීමෙන් පසුව දරුවා මෙසේ පිටුපස ඔසවනවා නම් එයින් ඔවුන්ගේ කුස පිරී ඇති බව පෙන්නුම් කරනවා. නමුත් ඔබේ දරුවා ආහාර ගැනීමෙන් අනතුරුව නිතරම මෙසේ හැසිරෙනවා නම් reflux (උදරයේ තිබෙන ආහාර නැවත ඉහලට ඒම) තත්වය නිසා වෙන්න පුලුවන්. ඒවගෙම දරුවා මාස 2කට වඩා වැඩිමහල් නම් මෙම හැසිරීම විඩාව සහ නරක මනෝභාවයන් පෙන්නුම් කරනවා.
හිස කරකැවීම: මෙය දරුවාගේ සැහැල්ලු හැසිරීමකි. බොහෝ විට ඔවුන් නිදා වැටීම පෙර හෝ නොදන්නා පුද්ගලයන් අවට සිටින විට මෙසේ හැසිරෙනවා.
කන ඇල්ලීම: බොහෝ විට මෙම චලනයෙන් පෙන්නුම් කරන්නේ දරුවා තමන්ගේ ශරීරය ගවේෂනය කරන බවයි. නමුත් දරුවා හඬමින් මෙය නැවත නැවත සිදු කරනවා නම් වෛද්‍යවරයකුට දරුවාව පෙන්වීම සුදුසුයි.
අත් මිටි මොලවාගෙන සිටීම: මෙය කුසගින්න පිලිබද සංඥාවක්. ඔබ මෙම සංඥාව පිලිබද අවදානයෙන් සිටිනවා නම් දරුවා කුසගින්නේ හැඬීමට පෙර එය හදුනා ගත හැකියි.
පාද ඉහලට එසවීම: මෙය උදරයේ වේදනා පිලිබද සංඥාවක්. මෙසේ හැසිරීම මගින් දරුවා වේදනාව අඩු කර ගැනීමට උත්සාහ කරයි.
දෑත් ඉහලට එසවීම: මෙම ඉරියවුවෙන් පෙන්නුම් කරන්නේ දරුවා බියට පත්වී ඇති බවයි. විශාල ශබ්දයක්, දීප්තිමත් ලයිට් එලියක් හෝ හදිසියේ පිබිදීම බයට හේතුව වෙන්න පුලුවන්. මේ අවස්තාවේදී හැකි ඉක්මනින් දරුවා සැනසිය යුතුයි.
ඔබේ කුඩා දරුවා සමග හැකි සෑම විටම කතා කරන්න. තවමත් කිසිවක් වටහා ගැනීමට නොහැකි වුනත් අවට පරිසරය මිනිසුන් සහ පෙනෙන්නට තිබෙන සියලුම දේ දරුවාට නිතරම පැහැදිලි කරන්න. එවිට ශබ්ද සහ චලන භාවිතයෙන් තම ආදරණීයන් සමග සන්නිවේදනය කිරීමට දරුවාට හැකි වෙනවා වගෙම ඉක්මනින් වර්ධනය වීමටත් එය උපකාරි වෙනවා.
දරුවන්ගේ හැසිරීම සම්බන්ද ඔබ දන්න තවත් දේවල් තියෙනව නම් අපිත් එක්ක බෙදා ගන්න. ඔබට සුබ දවසක්..
Connect with us